Monday, December 22, 2014

පලා යමි ඈතට.ඈතට.





එළියෙන්. අන්ධ වූ විට දෑස 
දැන ගනි අඳුර කොතරම් 
හොඳද යන වග,

පලා යමි ඈතට.ඈතට.ඈතට. 
සැගවේම් අඳුරු වන ගුල්මක
සොයා ගනු නොහැකි වනු
පිණීස ලොකයට

ගල් දේබොක්කාවෙ පොඩි සිදුරකින්  
වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදේන 
දුහුවිලි අංශු දෙස බලමී,

අදිමී තව දුම් උගුරක් අවසන්
සිගරට්ටුවෙන්.

පේනෙන ලොකයේ
නොපෙනෙන 
රෝමානිතික අංශු
වපුරමී. අදුරේම.

හිරු බැස යයි. සඳ නැග එයි. 
සඳ  බැස යයි. හිරු නැග එයි.
කාලය. කාලය. කාලය. කාලය.

ඊයේ කවදා ද. අද කවදා ද. හෙට කවදා ද.

වැඩියෙන්ම සිනාසේමි.
වැඩියෙන්ම අඬමි.
අඩුවෙන්ම සිතමී.

එළිය යනු පෙනෙන දෙයද?
අඳුර යනු නොපෙනෙන දෙයඳ?

පේනෙන දේ හොඳද. නොපේනෙන දේ නරකඳ. 
නොපේනෙන දේ හොඳද. පේනෙන දේ නරකඳ.

හඹා යමි සුලඟ 
ඉව කරමී ආත්මය 
දරා ගනු බැරිම තැන 
බිම තබමී සිත.

ඒ තම් බරයි සිත 
සිත තරම් උසයි නුබ.

පැමිණ ගිරි මුදුනට 
බලමී ලෝකය දෙස 
දැල්වෙයි ගිනි හැම තැන.
අළුව යන්නට පෙර නගරය 
බිදක් හෝ ඉතිරි වේ නම් 
තෙතමනය.



Friday, September 19, 2014

පෙනි පෙනිත් නවතිමී....



ප්‍රදිපය  දැක  දැකත්
හැරෙව්වා
නැව
දියඹටම
ගැඹුරටම ….

කුණාටුවට  බිය  නැතත්
හිනාවකට   නැහැ  ඉඩක්
මේ  මල  මූදේ

විලාපයක හඬ ඇසෙත්
වීරාමේකට නැහැ  ඉඩක්
මේ  මල  මූදේ

ප්‍රදීපයේ සුවඳ රැදි
මුහුදු  සුලඟ  කොදුරයි
හිමිහිට නැවට,
ඉරි ඇති බවට  රුවල්  පත්


හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්……


ප්‍රදිපය පෙනි පෙනිත්
නවතිමී.

දෑත වනනු මිස
ලගා වනු බැහැ
නැංගුරම 
නැති  කර ගත් මේ
නැවට…!
   

Sunday, September 14, 2014

පිටුවහල් කල කවියාට.කවියක්




උබට කවි ලියන්න මම 
කොච්චර දුප්පත්ද 
වෙඩ්ඩා... 

හීනෙන් ඇහැරෙන්න, ගිනි බිඳින සද්දා 
මල් වලින් මකරණ්ද ණයට ගෙන වික්කා 
භිතියට ඇස රැදුන සුසුම් පොඩි උස්සා 
ගිනි ගන්න හදවතක තොල් ඉබින වෙඩ්ඩා 

ලිහිණියට මග හැරුන කඳුලු බිදු කැන්දා 
හුස්ම දී පපුවටම වෙඩි තියපු හින්දා 
කැටි ගැහුන පැනකට කවි බර වැඩිද මන්දා 
හීනියට මදු විතක් පුරමු අපි වෙඩ්ඩා 

තටු කපා ඉගිලෙන්න වෙර දැරුව හින්දා 
ආත්මයම මිටට ගෙන ප්‍රංශයට පිම්බා
කාන්සියට තනි රකින කඳුලු බිදු හංගා 
හදවතට තව වරක් වෙඩි තියන්වද වෙඩ්ඩා
 


Saturday, August 30, 2014

ආස ඇති...!


වැව කොච්චර 
ගැඹුරු උනත්,
ඔරුව උනත් 
ආස ඇති 
එක වරක් හරි 
සිප ගන්න වැවු
පතුල...!



Tuesday, July 15, 2014

කාලයයි මේ...




ඔබ දන්නවාද….


සුදු පාට ලිලි මල් වලට

පිණි වැටෙන කාලයයි මේ...
 

කඩා වැටෙන තරු වලට

පාර කියනු වස්

කණාමැදිරියන් පහන් දල්වන 

රාත්‍රියයි මේ….


ඔව්. ඔබ දන්නවාද….


වස්සාන සිහිනයට 

පිය නගන්නට දෑත ඉල්ලා….

වසරක කාලයයි මේ


පාළු සිතුවමේ පාට 

තවරන්න කාලයයි මේ
 

ඔබ දන්නවාද….. 


පාට නොමැතිව තාම ලැතවෙන

පින්සලෙන් මේ ලියන්නේ

පාළු නිම්නෙට සීත සුළඟක්

යලිඳු කවදද වඩින්නේ….




Friday, June 27, 2014

මොහොතක් නතර වී බලනවාද.....





නුග සෙවන යට ගිමන් හරින
හුදකලා පැණි කුරුල්ලෙකු දුටු විට 
මොහොතක් නතර වී බලනවාද... 

උටත් ඇති කතාවක් 
මට වාගේම දුක හිතේන 

පියාපතක සගවාගත් පුංචි
මල් පොකුරක් ද අතැතිව

විසල් නගරයකට හුඟක් පොඩි ඇති 
හිනාවක්.. 
පිච්ච මලක් උව හුඟක් සුවදැති පෙම් 
කතාවක්..   



Wednesday, June 11, 2014

ප්‍රේමණිය උයන්පල්ලා...




සීතල දිය බින්දු දිය වෙන්න පටන අරන් හදිස්සියෙන්ම...උදෑසන රතු පාට ඉර එලිය වැටිලා හිම කැට හරියට දියමන්ති වගේ. ඈත බටහිර කඳුවැටිය දිහා ඉදලා ගලාගෙන ආපු ඒ සීතල සුළංපාර හරියට ජිවිතෙ පළවෙනි පාරට විදිනවා වගේ ඔහු ඇස් පියා ගෙන ඒ සිහිල විදින්න උනා. ඇත්තටම ඒ සුළගේ තිබුනේ ප්‍රේමණිය සුවඳක් තමා.

ඒ වන විටත් ඔහුගේ උයනේ තිබුන සියලුම රොස මල් වල සුවඳ ඒ සුළග නතු කර ගෙන තිබුනා සීරුවට. 

ඒත් ඔහු වැයම් කලේ ඒ වර්ණවත් සුවඳ අතරින් ඔහුගෙ උයනේ තිබුන වටිනාම මල වන නිල් රෝස මලේ සුවඳ වෙන් කරල හදුන ගන්න. ඒක ඔහුට කොතරම් සහනය ගෙනවද කිවුවොත් ඔහු තාමත් ජ්වත් වෙනවා කියලා ඔහුට දැනේන්න උනා. ඔව්. ඔහු තාමත ජිවත් වෙනවා. ඒ නිල් රෝස මල වෙනුවෙන්. ඇත්තටම.

ඔහු තම පාළු කුටියෙන් එලියට අවා. ඔහුගේ දෙපා නොදැනීම පියමන් කලේ ඔහුට අයිති එකම වස්තුව වන ඒ රෝස පදුර වෙත. ඔව්. ඒ නිල් රෝස මල වෙත.


 .....................


ඒක ගොඩක් ලස්සන රාත්‍රියක් සඳ හරියට පායලා තිබුනේ අහසේ කෙරොලට වෙන්න, හරියට තරු වලට දග කරන්න ඉඩ දිලා වගේ. තරු පොකුරු වලින් පිරිලා ගිය ඒ අහස දිහා ඔහු බලා ගෙන හිටියේ හරියට සිහිනයක් ඇතුලේ අතරමන් වෙලා වගේ.

පාළු කුටියේ වහලයේ මුල්ලක එල්ලලා තිබුන ලන්තැරුමේ දැල්ල, සුලඟ වැදිලා සෙලවෙන තාලේට ඔහු ඔහුගේ වස්දඩුවට පන දුන්නා...

ඒ සිතල රාත්‍රියේ සඳ එලිය දිය වෙච්ච පිනි වතුර රෝස මල් වලට වැටුනේ හරිම ආදරනිය විදිහට...උයන කෙලවර උණ පදුර සිලි සිලි නගන හඬ ඒ රාත්‍රිය තවත් වර්ණවත් කරනවා.

ඔව්. ඒක අදහගන්න බැහැ තමා. ඇත්තටම.

ඇත්තටම ඒ කඩා වැටුනේ තරුවක ද... ඔහු කිට්ටුකලා ඒ ඉසවුවට අතින් ගත් මළානික ලන්තැරුමත් එක්ක. දේවියනි ඒ තරුවක් නෙමේ සුරංගනාවක් රන් වන් පියාපත් ඇති සුරංගනාවක්. ඔහු ඔහුගේ අම්මා ඔහුට කුඩා කාලයේ කියා දිලා තිබුනා සුරංගනාවියන් එක්ක මේ දකිනේ සිහිනයක්ද කියලා ආයේ බලන්න උනා.

නෑ ඒ ඇත්ත සුරංගනාවක් තමා....

ඒත් ඒ වෙන කොට ඇය හිටියේ ඔහුගේ වටිනාම වස්තුව වන නිල් රෝස මල ගාව. ලොකේටම එකක් විතරක් තිබුන, ආයේ කවමදාවත් නොපිපේන ඒ නිල් රෝස මල ගාව.

ඔහු දෑස පියාගෙන මොහොතක් සිතන්න පටන් ගත්තා. මේ ගෙවෙන තප්පරය ගැන. ඔහුට දැනේන්න උනා ඔහු මෙතුවක් කල් ජිව්තය කැප කල මේ මල අයිති මේ රන්වන් සුරගනට බව.

ඔව්. ඇයට විතරක්ම බව.  ඒත් ඔහු කවමදාවත් විස්වාස කලේ නැහැ ඇය මේ හුදකලා උයනට එයි කියලා මේ දුප්පත් නිල් රෝස මල රැගෙන යන්න. ඒත් ඇය අවා.

දොතින්ම නෙලා ගත් ඒ මල රැගෙන ඇය අවා ඔහු අසලට. ඇයගේ ඒ රන් වන් පියාපත් වලට වඩා ඔහු නැවතුනේ ඒ තොල් සගලට උඩින් තිබුන උපන් ලපයට. ඒ වර්ණවත් උපන් ලපයට.

ඒක ඇයට දිලා තිබුනේ කවුරු උනත් එයට වැඩිපුර ආස කලේ ඔහු, ආදරය කලේ ඔහු. ඔව් ඒ ආදරණීය උයන්පල්ලා. 


                                     .........................


ඔහු දෑස ඇරියා. ඉර එලිය වැටුන ඔහුගේ දෑස බොඳ උනේ ඔහු නොදැනුවත්වමයි. ඔහුට මොකක්දෝ අමුත්තක් දැනෙන්නෙ උනා. කවදාවතම දැනිලා තිබුන් නැති විදිහට.

ඔහුගේ පැලට ඉහලින් උයනේ කඩුල්ල අසල ගැටෙන කුර හඬට ඔහු අවදි උනා. ඔහු සිතුවා හරි. ඒ රජුගේ මුර සෙබළු

"කො උඹෙ උයනේ තිබුන ඒ නිල් රෝස මල....කොහෙද උබ එක සැගවුයේ. මේක රජුගේ අණ. ඒ නිල් රෝස මල  ඔනේලු රජුගේ දූ කුමරිට...."

ඔහු දැනන් හිටියා කවදා හෝ මෙය සිදුවන බව. ඒත් ඔහු ඒ නිල් රොස මල ආරක්ෂා කලේ ඒ සුරංගනාව වෙනුවෙන් විතරක්ම බව ඔහු දන්නවා.

කඩු අතින් ගත් සේබලු මුලු උයනෙම රෝස මල් කපා බිම හෙලන්නට උනා.  ඒත් ඔවුනට ඒ උයනේ තිබුන වටිනාව මල නිල් රෝස මල සොයා ගැනිමට නොහැකි උනා.

සෙබළු අණ ක්‍රියාත්මක කලා. ඒ ප්‍රේමණිය උයන් පල්ලාගෙ හිස රතු පාට රෝස මල් මත තද නින්දකට වැටුනා.

.........................


ඔහු දැනගෙන සිටියා ඔහුට නැවත හුස්ම දෙන්න පුලුවන් එකම විදිහක් ගැන. ඔව්. ඒ සුරගනට පමණයි. ඒ සුරගනටම පමණයි.



සෙබල්ලු ඔහුගේ මුර කුටිය සොදිසි කරද්දී රන්වන් සේඳ සලුවක් සමග තිබු ලිපිනක් ලැබිනි. එහෙත් කවුරුත් ඒ කුමන රටක්ද, දේශයක් යැයි දැන සිටියේ නැත. ඒත් ඒ ආදරණිය උයන් පල්ලා දැනගෙන හිටියා ඒ ආදරයේ පාරාදිසය බව.

2 වෙනි කාමර 

කාතා කරන දෙහි ගස ලග ජනේලය 

රෝස උයන.


  


Sunday, May 11, 2014

දිනයක් නොමැති කවියක්....



දිනයක් නැතත්

නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...

දිවියම කැපයි

නුබේ සෙනෙහස පුරා රැදි...


කවදාවත් නොසිතුවේමි

මම,

නුබ

සිර කරනට

කවි පදයක් තුල...


සෙනෙහසක බර දරන්නට කවි පදක බර

මට මදි නිසා...

පන්හිඳක් ලග ලඟු කරනු නුබ මගේ

සිත ඇකමැති උනා... 


"අම්මේ නුබයි

සෙනෙහස් නිම්නයේ ආදර  දිය දහර...

ජිවිතේ අඳුරු කතර

අස්වැද්දුව....."


වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේ

ආදරේ බැදි දිය දහර...

වාන් දොරකින් කෙලෙස බෙදනු ඒ

ස්නේහයේ රැදි දිය දහර...


Sunday, February 23, 2014

ඔබේ ආදර තිලිණය...!



 

සරත් අහස සඳ සරසන වෙලාවක 

මුවින් මදු විතක් අරගෙන මම, මුලාවක

ලා අඳුරක සිත තනි උන තලාවක 

තවත් කවක් ලියවුනි දැන් මලානික 

 

කවියේ පදත් දැන් ලිය වෙන්නෙ ඇදවී 

අඳුර මැදින් ගලනවා සඳ රැස් බේරී 

මණ්දාරමට වැහි ගෙනා වැහි ලේණි 

තියපං විලාපය මගේ තනිකම ගැන පේවී

 

සඳට තනි නැහැ සඳ සාවිය හින්දා 

මලට තනි නැහැ වන බඹරුන් හින්දා 

ගසට තනි නැහැ සියොතුන් ඇති හින්දා 

මටත් තනි නැහැ මරණය ලඟ හින්දා

 

දේතොලග රැදි දුම් වැටියක දුමාරෙට 

පෙනහල්ලත් පෙම් කරනවා අවාරෙට 

ෆිල්ටර් නැතිම ප්‍රේමය දුන් රුදාවට 

හදවත අහිමි මම දැන් ඉමි සුසානෙක

 

කවුළුව ලඟ අඹ ගස තුල මුවා වී 

සඳ ඉන්නවා ඔච්චම් කර මට, සිනා සී  

අතේ රැදුන දුම්වැටියට එපා වී 

නිවි ගිහින් අළු ගොඩ මත දිගා වී

 


Monday, February 17, 2014

ආදරයට වෙඩිතියන්න...!

 

 

ඉලක්කය 

මානමුද 

අපි දෙන්නම

එකතු වෙලා 

පාට කරපු නිල් පාට 

අහසට.....


එක උණ්ඩයක් 

හොදටොම ඇති,

කුඩු වෙලා 

විසිරෙන්න වෙඩිතියන්න

මුලු අහසටම.....


අපේ අහසේ කෑලි 

වැටෙනවා දැකපු

මිනිස්සු කියයි.


"ඇති යාන්තම් නියගය ඉවර වෙලා 

වැහි පොදක් වැටෙනවා" කියලා...


තව එක 

උන්ඩයක් 

ඉතුරුයි...

 

ඒක අපි 

දෙන්නට...



Thursday, February 6, 2014

මැවුම්කරුවානනි නුඹ කොහි ද..!

  

               මැවුම්කරුවානනි,

               ආත්මාර්ථකාමීයේකි 

               නුඹ...!


               නිම්න දෙකක සිර කලේ ඇයි 

               හුදකලා සිත් දෙක...

 

               කල්වාරි කන්ඳ මුදුනට 

               හිමාලය පෙනෙනවා හරි 

               අපුරුවට...

   

               ප්‍රේමණිය මිනිසුන් වී 

               අප දේදෙන...

               පාට දේදුන්නකින්

               යා කරමු.. 

               ශේෂ කඳු දෙක...

  

               වළාකුළුත් ඉඩ දේවී 

               ප්‍රේමණිය සිත් වලට..

 

               කොල පාට ඉහිර ගිය 

               සරුසාර නිම්නෙක....

               එකම වළාකුලක් යට 

               හැංගෙන්න ඉඩ දේමු...

               ප්‍රේමණීය කඳු වලට..

 

               මැවුම්කරුවානනි,

               නුඹ

               පරාදයි...

               ප්‍රේමණිය මිනිසුන්ගේ

               සිත් වලට...



Wednesday, January 29, 2014

නිරුවතට බය ඇකඩමික් ජිව්ත....


ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් නැහැ. ඒත් කරන්න දේයක් නැහැ මට මාව එපා වෙන්න කලින් මේක කියලා දාන්න ඔනේ. කවුරු කියේවුවත් නැතත්.


ලංකාව ඇතුලේ අපි ජිවත් වෙනවද...මම හැමදාම මගෙන් අහලා බලපු ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මට අනුව නම් හැමදාම උත්තරය. නැහැ. අපි මේ දුපත ඇතුලේ හැමදාම මැරේනවා කියන එක විතරයි තියේන එකම උත්තරය. අපිට මේ තියෙන ඇකඩමික් ජිවිතයත් ඒක්ක අපිට කවදාවත් ජිවත් වෙන්න හුස්ම ගන්න බැහැ. අපි හැමදාම වැඩ කරන්නෙ plan එකකට. ඊලග තප්පරය, අපි මේ වෙනකොටත් සැලසුම් කරලා ඉවරයි. මනුෂ්‍ය ජිවිත්‍යක් ඇතුලේ සැලැස්මක් කියන්නෙ රාමුවක් ඇතුලේ කරන පරික්ෂනක්(experiment) වගේ වැඩක්. උවමනා කරන තත්ව එක්ක කරන ගනුදේණුවක්. අදාල තත්වය(condition) නැති උන ගමන් අපේ test ඉවරයි. අපි මේ ගත කරමින් ඉන්න ඇකඩමික් ජිවිතයත් ඒ වගේ තමා. කාගේ හරි කොන්දේසි වලට යට වෙලා, කාගේ හරි සැලැස්මක කොටස් කාරයෙක් වෙලා. අපි අනුගේ පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ වගෙ. අපිට මේකෙන් ගැල විමක් නැහැ. පරික්ෂණය සාර්ථක උනොත් කූඩුව ඇතුලේ හිර වෙලා මැරෙනවා..පරික්ෂණය ආසාර්ථක උනොත් අපි එතනම මැරෙනවා. 

 

ඒත් ලංකාවෙ අපිට මේක හේන ආතල් වැඩක්. ඒක ගැන එච්චර හිතන්න දේයක් නැහැ මොකද පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ කවදාවත් හිතන්නේ නැහැ මිනිස්සු කන්න බොන්න දෙන්නෙ උන්ව මරන්න කියල.

 

මහින්දට ලංකාව දුපත් වෙච්ච මාර ආතල් එකක් උනාට, මට ඒක පට්ට අවුල්. මොකද අපි එකෙන් උනේ ඉන්දියන් සාගරයේ මුලු ගැන්විච්ච එක. කොටින්ම ලංකාව කියන්නෙ අනාථයගේ නාවාතැන් පොලක් උනා. ඒක විජයගෙන් පටන් අරන් ඉන්දියන් ධිවරයා දක්වා පිලිවලට ලියන්න මං මගේ වචන නාස්ති කරන එක අපරාදයක්. අශෝකගේ හිතුවක්කාර ධර්ම ප්‍රචාරනයේ ඉදන් නූතන මානව හිමිකම් අතපේවීම දකවා ලංකාව නිකන් ඒක එක් කේනාට ආතල් දේන්න දැගලුව අතවරයට පත් වෙච්ච රටක්.


අපි නිකන් අවුරුදු 2500 ඇතුලේ හිර වෙලා මාර ත්‍රිල් එකක ගන්නේ. ඒත් ඒක ඇතුලේ අපේ කියලා මේලෝ දේයක් නැහැ. ඔක්කොම අනුන්ගෙන් ශුක්‍රානු. අපිට අපේ කියලා ඉතිහාසයක් තිබුනත් ඒක අපේ අයට ආතල් දේනවා මදි හින්දා අපි අර 2500ම  බදාගෙනම ඉන්නවා. 

 

අපි ඇකඩමික් වෙන්න පටන් ගන්නෙ ඉපදුන දවසේ ඉදන් මයි. පවුලට ඔනේ විදිහටයි, ආගමට ඔනේ විදිහටයි, රටට ඔනේ විදිහටයි, ජාතියට ඔනේ විදිහටයි.......මේක ඉවර කරන්නෙ කොහෙන්ද අපි. අපි පට්ට වහල්ලු තාම. අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන  සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි.

 

මට අනුව සිද්ධාර්ථ කියන්නෙ මේ කියන ඇකඩමික් කියන එක හා නන් ඇකඩමික් කියන කාලාප වල හොදට හැසිරුන චරිතයක්. එත් ගෞතම කියන චරිතය ඇතුලේ අපි කතා කරන බෞද්ධ කතාවට වඩා මට සිද්ධාර්ථ තරුණයා ලගයි. මොකද එයා මාලිගාව ඇතුලේ පට්ට සැපක් විදින ගමන් තමයි සතර පෙර නිමිති දැකලා හිතන්න පටන් ගන්නේ. ඒ වෙනකන් එයා ඉන්නෙ සතුටක් ඇතුලේ. සිද්ධාර්ථ හොදට කැවා, හොදට යලුවෝ එක්ක පිස්සු නැටුවා, රාජ කුමරියෝ ඉස්සරහා වැඩ දැම්මා...අන්තිමට බැන්දා, ළමයි හැදුවා. එත් අන්තිම එයා ගෞතම කියන චරිතය උනාට පස්සේ එයා අතීතේ කරපු ඔක්කොම අවුල් කියලා කියන්න හදන්වා. සිද්ධාර්ථ හිර වෙච්ච් තැන ඉදන් එයා කතා කලේ රමුවක් ඇතුලේ. එයාට බැරි උනා දුක කියන තැනකින් මිදිලා සතුට කියන තැනට පරාරොපනය වෙන්න.

 

අපි ඇයි මේ ආගමික ශාස්තෘවරුන්ගේ ලිංගික ජිවිත ගැන කතා නොකරන්නෙ. ලංකාවවේ ගොඩක් අයට ලග සිද්ධාර්ථනේ, දැන් අපි දන්නේ එයාට රාහුල කියලා ළමෙක් හිටියා කියලා විතරයි. ඊට කලින් එයා මාලිගාවේ පට්ට සතුටින් හිටියා කියලා කතා කරන් නැත්තේ ඇයි. මේක මේ සිද්ධාර්ථගේ වත් ගෞතමගේවත් වරදක් නෙමේ. ආගම කියන එක පරීනාමනයත් එක්ක ඇති වෙච්ච අවුලක් කියලා මට හිතෙන්නේ. අපේ ලීංගික බේලහීන, ලිංකිකත්වට බය සැදහවත් මිනිස්සු මේක ආගම කියන තැනින් අයින් කලා. 


අපි තව මිනිහෙක්ගේ ලිංගික කාළාප ගැන හාදාරන් ඇතුව, අපි කොහොමද ඒ මනුස්සයිගේ ඉදිරී පැවැත්මක් ගැන තිරණයකට එන්නේ. කොටින්ම බිරිඳයි සැමියයි අතරේ ලිංගික කළාප ගැන එකිනේකාට අවබොධයක් නැත් නම් එතනින් එහාට කොහොමද ඒ පවුලේ පැවැත්ම ගැන අපි කතා කරන්නෙ. මේක ආගමත් පොදුයි. අපි දූපතක් විදිහට වහන්න කොච්චර හැදුවත්. මිනිහෙක් ගේ වෙනස් වීමේ දිශානතිය කියන්නෙ ලිංගික අශාවෙ වෙනස් වීම්. අපි ලිංගිකත්වය ඇතුලේ කොච්චර විශාල වෙනවද කියන එක ඇතුලේ අපි අපේ පැවැත්මේ විශාලත්වය ඇති කර ගන්නවා. 


මං කියාගෙන ආපු මේ ඇකඩමික් සංකලපය ඇතුලේ අපි මේ ලිංගිකත්වය කරන්නේත් අදාල පරික්ශන තත්ව යටතේ. කවුරු හරි කියා දිපු විදිහට. ලංකාවෙ අපි රමණය කියලා දන්නෙ බැදලා ඉවර වෙලා කාමරය ගිහින් කකුල් දෙක පන නැති වෙනකන් එකිනෙකාව බදාගෙන ඉන්න එක විතරයි. ඒත්  ලිංගිකත්වය කියන්නෙ, රමණය කියන්නෙ එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු කතාවක්. මිනිස්සුන්ට අලුතෙන් ජිවිතයක් දේන්න පුලුවන් තැනක්.


මේ කතාව මෙච්ච්ර අදුරු කලේ ආගම කියන සංකල්පය . නිකමට හිතන්න ගෞතම කියන චරිතය ඇතුලේ එයාට පවුලක් ඉදලා එයා, එයාගේ ලිංගික ජිවිතය ගැන එයා විවරනයක් කලා නම්, අපි මේ ඉන්න තැනක හිර වෙන්නේ නැහැ.(මෙතන මම වැඩිපුර ගෞතම කියන චරිතය ගැන කතා කරන්නෙ මම වැඩිපුර දන්න චරිතය එයා නිසා) පොදුවෙ ලංකාව ඇතුලේ ව්‍යප්ත අනෙකුත් ආගම් දරන්නේද මේ හා සමාන මතයක්.


ලංකාව ඇතුලේ තියන විශ්ව විද්‍යලවල පවා මේ තත්වෙ මෙසෙමයි. අපිට හම්බේන සිමාවෙන් එලියට ගිහින අලුත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ඒ ඇකඩමික් ජිවිත වලට බැහැ. කොටිනම් ඒක කොච්ච්ර සිමා සහිත  සිතිමක්ද කියනව නම්. කට්ටිය එකතුවෙලා මොනා හරි වැඩක් කරමු කිවුවොත් උන්ට මතක් වෙන්නෙ පහන් පිංකම්...බොඪි පුජා...කෙලවරක් නැති පින් කම්

 

සමාජයේ හා මිනිසුන්ගේ වෙනස් විමක් වෙනුවෙන්  චින්තන්යේ වෙනස කිරිමක් වෙනුට මුන් තොර ගන්නෙම යල් පැනපු පුහු මතවාඳ....එක එකාට ගොන් ආතල් දේනවට වැඩිය ඇයි මුන්ට තොර ගන්න බැරි රාමුවෙන් මිදුන පාරක්...මේ කොහොම කිවුවත් ලංකවේ ඉන්න හොඳම පොත් ගුල්ලො අතරින් අරෙහෙම මහ විශාල වෙනසක් බලපොරොත්තු විමත් වැරදී. මොකද අපි ඒ 70 80 කාලේ වගේ සවර්ණමය යුගයක් ආයේ අපිට එන් නැති නිසා. ඒ වගෙ නිර්මාණශීලි, කැකැරෙන් ලේ තියෙන තරුණයෝ දැන් කැම්පස් එන් නැහැ. උන්ව පාසෙලේ රාමුව ඇතුලේම මැරෙනවා.


මහ බොරු මතවාද වෙනුවෙන් කෑ ගහන කැම්පස් ඇතුලේ කවියක් ලියල එල්ලන්න තැනක් නැති තරමට දැන් කවී ලැලී වල ඉඩ නැහැ. එවායේ තියේන්නෙ දැන්වීම් පමනී. කපල් පැකෙජ් එකයි, ඩොන්ගල් ගැනයි, ඇරෙන්නෙ වෙන ඇති මගුලක් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ගේ රසවින්දන උදෙසා මිල කිරිමකින් තොරව දෙන රසවින්දනයක් දැන් මේහි නැත. ඇත්තේ fund එක ගොඩ දා ගන්න කරන සල්ලි ගැරිමකී. 


ටේලෙර්ගේ, ෆියොල්ගේ, මායෝගේ කලමණාකරනයෙන් මෙපිට හිතන්න බැරි. තව එකෙකුගේ ජිවිත්‍යක් වෙනුවෙන් හුස්ම ගන්න දන් නැති. පොත්ගුල්ලන් රාශියක් සමග මට ගේවිමට ඇති කාලය මට ඇකඩමික් ජිව්තයේ පර්හානිය මොනවට පෙන්වයි.(මේය මට අදාල විශ්ව විද්‍යලය හා බැදේ. අනෙකුත් එවාද මිට මහ ගොඩකින වෙනස නොවන බවයි මගේ හැගීම)


කියන්න ගිය එක කිය උනාද යැයි සැකයක් ඇත. එහෙයින් කියවන උබලාට එක පොටක් හරි අහු නොවීම ගැන මගේ අමනාපයක් නොමැත.



Sunday, January 19, 2014

ඉර ගාව තනි රකින්න එනවා ද...!




ඉරට තනි රකින්න ඔබ එනවාද 

සිදුනු අත් තටු තියන්..

ගිනි ගහන පොළවට ටිකක් ඉහලින්

ඉරට තනි රකින්න ඔබ එනවාද..

 

රඳවන්න උණුසුම හිම පියලි

දෙතොලේ...

දිය වෙන්න ජිවිතය ප්‍රේමය 

තුරුලේ...

ගිනි ගන්න පපු ගැබුර තුරුලේ 

සිප ගන්න ඔය දේතොල රිසි සේ...

කියන්න ඔබ මට රහසේ...

ඉරට තනි රකින්න ඔබ එනවාද 

සිදුනු අත් තටු තියන්..

 

හිම වරුසාව මැද ඉර එළිය අවා 

ඒ එළිය ලඟ මම ඇඬුවා..

විල් පතුලේ ඉර ගිලේනකන්

මම ඇඬුවා...

අවසානේ....ඔබ අවා......

 

ඉර ගාව හිම දිය උනේ නැහැ...

ඉර ගාව ඔබේ රුව මට පෙනුනේ නැහැ...

ඉර ගාව ඔබේ සුවඳ මට දැනුනේ නැහැ...

නැහැ....නැහැ....නැහැ.....


ඉර ගාව තනි රකින්න ඔබ අවා 

ඉරුනු අත් තටු තියන....



Friday, January 10, 2014

ඔබට නොපෙනේද මා.....!



 

සයුරු තෙර, මඟ හසර නොම දැන
අතරමං වන විසල් නැවු මත
පාර කියනා ප්‍රදිපයකට
ඇයිද මග කියනු බැරි
මා සතුව ඇති කුඩා
 .

.

.

ඔරුවට..!