Sunday, February 24, 2013

ගැහැණිය නිරුවතින්..........






රස්තියාදුකාරයට භෞතික වශයෙන් කියවීමට නොහැකි, බොහෝ දේ කියවීම සදහා යොදා ගන්නේ එම පුද්ගලයා හෝ වස්තුව අධ්‍යාත්මික ලෙස  කියව්මයි....................

ඒ අතරින් ගෙවෙන තප්පරයක්  තප්පරයක් පාසා වටිනාකමක් එක් වන එකම දෙය "අතීතයයි"

"ගැහැණිය" මං කොහොමද ගැහැණිය ගැන ලියන්න පටන් ගන්නේ...........අසීමිත චින්තන පරාසයක් තුල විසිරෙන ගැහැණිය එක ලිපියකින්, ඡේද කිහිපයකින් කියවිය හැකිද මට..........
 
රස්තියාදුකාරයා කියවපු එක පොතක තිබුනා ගැහැණියක් විසින් ගැහැණියක්ගේ චරිතය නිරුවත් කරපු.........ඒක තිබුනේ සුමිත්‍රා රාහුබද්ධ 1998 ලියපු "අග පිපි මල්" කියන පොතේ..........

ගැහැණියක් විසින් ගැහැණියක්ගේ චරිතය නිරුවත් කිරීම......

"යුද්ධය නිසා සැමියන් අහිමි වීමෙන්ද, සමාජයේ සමස්ථ පිරිහීම නිසා විවාහ සංස්ථාව බිදී යාමෙන්ද අසරණ වන ගැහැනුන් බහුල අප සමාජයේ උස් මිටි බේදයකින් තොරව ගැහැණිය මුහුණ දෙන කේදවාචකය දෙස බලන්නට ගත් උත්සාහයකි අග පිපි මල්. ගැහැණිය වීම නිසාම මුහුණ දිය යුතු ප්‍රශ්න වලදී සමාජ තාරා තිරම, රැකියාව, ආර්ථිකය යන කිසිවක් නිසා වෙනසක් සිදු නොවේ."                     
                                         ( අග පිපි මල් පිළිසදර )

ලිපිය ආරම්භයේදී පැවසුවක් මෙන් මට භෞතික වශයෙන් කිය වීමට නොහැකි එක් චරිතයක් තමා "සුමිත්‍රා රාහුබද්ධ." ගැහැණියක් විසින් තවත් ගැහැණියකට ඉටු කල යුතු වගකීම් වලින් බහුතරයක් ඇගේ පන්හිඳ මේ වන විටත් ඉටු කර හමාරයි. ඇගේ පන්හිඳ විසින් ගැහැණියක්ව ඇය රැගෙන යන දුර, එම ගැහැණියට චරිතය තුල කරන සදාරණත්වය මටනම් ඉස්තරම්.........

රස්තියාදුකාරයට සුමිත්‍රා රාහුබද්ධයන්ගේ පොත් වලින් මුලින්ම කියවීමට ලැබුනේ 1994 ලියපු "ඉටි පහන්." මේ ලිපිය මොහත දක්වා එම කෘතිය තුල වූ ගැහැණිය නංවපු හඬේ දෝංකාරයෙන් මගේ සවන් තවමත් අගුලු වැටිලා........ රතුවිතානේලාගේ ඩේසි සුසන් (සෝමේ ), ඇගේ මව දුලිනා......

ගැහැණියෙක්ගේ බඩ පලාගෙන මේ ලෝකේ එලිය දැකපු අපි, තන පුඩුවක එල්ලිලා කිරි බීපු අපි, තව වෙලාවක ගැහැණියකගේ ලැම දිහා බලලා සතුටු වෙනවා, ඇයත් එක්ක යහන ගත වෙනවා........ඉතින් අපිට පුලුවන්ද පිරිමි හිතකින් ගැහැණියක් දකින්න.....ඒක හොදටම කරන්න පුළුවන් ගැහැණියෙක්ටම තමා කියන එකයි රස්තියාදුකාරයාගේ හැගීම.....

අපි ගැහැණියෙක් දකින්න හදන්නේ අපේ අම්මා තුලින්.........නමුත් ගැහැණියෙක් තවත් ගැහැණියෙක්ව දකින්න පටන් ගන්නේ ඇගේ යෝනියේ ඉදන්...........

ලංකාව වගේ ගතානු ගතික සමාජයක ඉදන් සුමිත්‍රා ගැහැණිය දකින්න දරන වෑයම ගැන මටනම් හිතා ගන්න බැහැ...........

"ගැහැණියකට පිරිමියෙකුගේ ආදරය අවශ්‍යය. ඒ හුදෙක් ලෝක චාරිත්‍ර ඉටු කිරීම සදහා නොවේ. සෙනෙහස, ආදරය මෙන්ම කරුණාව හා දයාවද විදිනු සඳහා ය. සුවදායක සෙනෙහසක දැවටෙනු සදහාය. වෙනත් කිසිම කිසිවෙකු සමග ගොඩ නාගා ගත නොහැකි පුද්ගලිකත්වයක් ගොඩනගා ගනු සදහාය."
                                                        (අග පිපි මල්  178පිටුව)


සුමිත්‍රා  රාහුබද්ධ
පිරිමියෙක් ගැහැණියක් දකින විදිහටද, ගැහැණියෙක් පිරිමියෙක් දකින්නේ....... ගැහැණියෙක් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇය එන විට, ඇය හා යහන ගතවිමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න පිරිමි කමක් විතරක් නෙමේ කියන එක රාහුබද්ධයන් අග පිපි මල් පොත පුරාවට කතා කරනවා.

"අසිතගෙන් වෙන්ව පැමිණියාට පසුව, හෙවත් අසිත විසින් බැහැර කරනු ලැබුවට පසුව දෙපින් නැගී සිටීමට තමා දැරූ උත්සාහය, එය මල්පල ගත් හැටි අමාගේ සිහියෙහි සිතුවම් විය. කීර්තියද, සෞභාග්‍යද තමා සොයා එන විට සියලු දෙනාම තම සමීපයෙහි සිට ඔල්වරසන් නැගුහ. ගීතිකා ගැයුහ. තමාගේ කීර්තියෙන් බිදක් විදීන්නට තැත දරූහ."
                         (අග පිපි මල් 220පිටුව)


පවුල් ජිවිතයක් තුල හුදකලවිමට වඩා සමාජීය ලෙස දික්කසාදයකින් හුදකලා විම තුලින් ගැහැණියක් ලබන පන්නරය, ලබන තාඩන පීඩන තුලින් ගැහැනියක් ලබන ජිවය........පසු කලෙක ටෙලි වෘතාන්තයක් වූ අග පිපි මල් නට්‍යයේ තේමා ගීතය තුලින් මුළු කතාවම ඉතා ලගන්නා සුළු ලෙස සාරාංශ ගත කරනවා .

"මෙතනින් බා ගනින්......"






මේ ලෝකයේ කවදාවත් කතා කරලා ඉවර කරන්න බැරි චරිතයක් තමා ගැහැණිය කියන්නේ. ක්‍රෝධය , වෛරය ඊර්ෂියාව ඉදන් ශුන්ගාරය, ආදරය දක්වා විහිදෙන පරාසය තුල සැරිසරන ගැහැණිය සුමිත්‍රා තමාගේ අකුරු වලින් හිලෑ කරලා ග්‍රන්ථාරූඩ කරන ආකාරය ඉතාමත් සිත් ගන්න සුළුයි.

ජීවන් පරාසය තුල එක් එක් කාල වලදී විවිඩ චරිත රගපාන ගැහැණිය සතු විවිධ හැගීම් නියමාකාරයෙන් උලුප්පා ලිවීමට ඇය දරණ උත්සාහය ඉතාමත් සාර්ථකය බවයි රස්තියාදුකාරයාගේ හැගීම........

"කෝ කෝ වරෙන් යැයි කි තුමනෙරිස් දුලිකාව තමා වෙතට තුරුළු කොට ගත්තේය. තුමනේරිස්ගේ සිරුරේ සිරුරේ උණුසුම දුලිනාට හොදින් දැනිණි. ඒ උණුසුම් ඇත් වන්නට ඇගේ උඩු හිතට ඕනෑ වූ නමුත් යටි හිත ඒ උණුසුම ඉල්ලා තව තවත් තුමනේරිස්ගේ ග්‍රහණයට තුරුළු වනු ඇයට දැනුනි."

නැතිබැරිකමද, ස්ත්‍රීත්වය සුරා කෑමට එරෙහිව දේශපාලන වශයෙන් නැගී සිටීමට තරුණ ස්ත්‍රියක වෙරදැරිම වරදක්ද.....??? යන්න පසුබිම් කරගෙන ලිය වූ "ඉටි පහන්" නව කතාව තුල ධනය, බලය, අසරණකම හමුවේ අතීත ගැහැණියකගේ සිට වර්තමාන ගැහැණිය දක්වා මුහුණ පාන ගැටලුව පිළිබදව නැවත වරක් සිතා බැලීම අපව යොමු කරන්නට ඇය සමත් වෙයි...........

"මං උබට පැදුරේ කුලිය ගෙවන්නම්. බුරු ඇදෙන් නැගිට ආ කන්දේ මහත්තයා දුලිනාගේ කිහිලි දෙපැත්තෙන් දැත් දමා ඇ ඔසවමින් ඉල්ලා සිටියාය. තුමනේරිස් අයියා පැමිණෙතයි බියක් දුලිනා තුල ඇති විය. ඒ සමගම කන්දේ මහත්තයගෙ ග්‍රහණයෙන්  ගැලවී යාමේ උවමනාවක්ද දැඩිව ඇති විය. කෙල්ල වෙනුවෙන් තමා ගත කරන්නට වලි කන පිරිසිදු ජීවිතය ගතකරන්නට මේ ගමේ පිරිමින් ඉඩ දෙන්නේ නැත."
                (ඉටි පහන් 44පිටුව)

සමස්ථ සමාජයම වෙනුවෙන් ගැහැණිය නියෝජනය කිරීමට අග පිපි මල්, ඉටි පහන්, කන්දක් සේමා, බුමුතුරුණු, කටු ඔටුනු,  දළ රළ පෙළ, කේලි මඩල ආදී කෘති තුලින් සුමිත්‍රා රාහුබද්ධයන් ගත් උත්සාහය වෙනුවෙන් තබන මේ සටහන, ඇයගේ කෘති පිළිබද, ඇයගේ දැක්ම පිළිබද මාගේ අදහසයි..........එසේම ඇගේ නිර්මාණ කාර්ය වෙනුවෙන් මා කරන ලද මේ අකුරු සටහන ඇය කල නිර්මාණ වලින් බිදකි...........


Monday, February 18, 2013

ආදරයේ බෝසත් ප්‍රර්ථනාව............




අපි මේ ජීවිතය පටන් ගන්නේ කොහෙන්ද.........ඉවර කරන්නේ කොහෙන්ද ............ හිතා ගන්න පුලුවන්ද.........???  හරි පුදුම විදිහට මේ ලෝකෙට ආපු අපි හරි පුදුම විදිහට මේ ලෝකේ දාලා යනවා. ඒ අතර තුර ගෙවන කාලය තුල, අපි මේ ගෙවන ජිවිතයේ තව කි දාහක් දේවල් නම් අතර මග දාලා යනවද........

ඒ දාලා යන දේවල් අතරේ ජිවිතේ කවදාවත් අමතක කරන්න බැරිවිදිහට, හදවත තුල කිදා බැහැල තියන ඊයම් බරු වගේ කොයි වෙලාවෙත් අපිට ඒ දේවල් දැනෙනවානම් අපි කොහොමනම්  එවැනි දේවල් හදවතින් අයින් කරන්නද........

                                     එක් පෙති මලක් විය නුබ මගේ ඇත දෙකට
                                     නෙලා  නොගතේ  මගේ බෝසත් කමට
                                     හැරගිය  දිනේ   නාවත් මා  ගම්  දොරට
                                     ආවේ.......ඇයිද  විරහේ  සිත අද්දරට 

රොහාන් ශාන්ත බුලේගොඩයන්ගේ ඒ ලගන්නා සුළු ස්වරයෙන් වර්ණවත් වන මෙම ගීතයේ, පිරිසිදු ප්‍රේමයක් මුල් කර ගත්ත බෝසත් ආදරවන්තයෙක්ගේ චරිතාපදානය වචන වලට ගලපලා තිබුනේ බන්දුල නානායක්කාරවසම් මහතා. මේ බෝසත් ප්‍රේම වන්තයට සංගීතයෙන් පන දීලා තිබුනේ ජගත් ජයවර්ධනයන්.

ජිවිතේ තිබුන ගොඩක් දේවල් වලට නිර්වචනයක් තිබුන මට ඇයි ආදරය වෙනුවෙන් ස්ථිර එක නිර්වචනයක් ගොනු කර ගන්න බැරි උනේ කියලා මං තාමත් කල්පනා කරනවා..............

එක අතකට ඒක සාධාරණයි. මොකද කවදාවත් අපිට ආදරය වගේ මානුෂිය හැගීමක් අකුරු පේලි කිහිපයකින් ලගු කරනවා කියන්නේ මහා බොලද වැඩක්............මොකද ප්‍රේමය කියන්නේ ඒ බොලද කම ඉක්මවා ගිය හදවත පා කරලා අරින්න පුළුවන් තරමේ මහා පුදුම දෙයක්..........

දුවිල්ලෙන් පිරිලා ගිය, කාමුකත්වය අත වනන නුතන සමාජයක "එක් පෙති මලක් නෙලා නොගන්නට තරම්" අධ්‍යාත්මික ලෙස ආදරයත් එක්ක ගණුදෙනු කරන පිරිමි හදවතක් අද අපට හොයා ගත හැකිද......නමුත් මේ පද  රචකයා අපිව ගෙන යන දුර.....අමුනුස්ස කම රජයන සමාජයක මනුස්සකම වෙනුවෙන් තරුණ හදවතකට කරන්න පුළුවන් උතුම්ම පරිත්‍යාගය.......                    

                 විස්මිත ගමන අදහන්නට බැහැ තවම
                 මා හැර දමා නුබ ගිය මග ගැන අරුම
                 සතු කර ගන්න මුල් පෙම නොපිරු බැරිව
                 දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින

ජිවිතේ කළු පාටින් වැහිලා ගිය අඳුරු අගාදයක ඉදන් ඈත පේන පුංචි තරු එළියක් දෙසට අත් අල්ලන් ගමන් කල අපි දෙන්නා.......,අවසානේ ඔයා මගේ ඇසට කදුළු බිදුවක් වත් හෙලන්න ඉඩ නොතියා  මගෙන් ඈත් වෙලා ගියා.......

කවදාවත් පිරිමියෙකුට අමතක කරන්න බැරි දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ තමාව වැදු අම්මයි, පළවෙනි ආදරයයි. ඒ අතරින් පිරිමි හදවතක් තම පලවෙනි ප්‍රේමය වෙනුවෙන් මෙචර හැගීම් බර වෙයි කියලා සමාජයේ බහුතරයක් දේනා හීනෙන් වත් හිතන් නැතුව ඇති........

නමුත් මේ පද රචනාව තුල බන්දුලයන් අපිව හරි නවුමු ලෝකයකට එක්කන් යනවා. ආදරය වෙනුවෙන් ජීවිතය බිලි දෙන සමජයක් වෙනුවට තම අධ්‍යාත්මයත් එක්ක ගනුදෙනු  කරන්න කියලා කරන ඉල්ලීම....... "දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින"

                       මෙන්න සින්දුව අහල බලන්න
                                                                   
                        සිටිනා  කොදෙව් වක නුබ සැප විදිනම්
                        මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්
                        මතකය නුබට හිරිහැරයක් නොවේ නම්
                        තව කුමකටද.... දුක් ගී කල්පනාවන්

ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක තරම් වෙනසක් කිව්වට. අපි අවංකව ආදරය කල කාට හරි අපිට ආපහු වෛර කරන්න පුලුවන්ද............අනාගතය දිහා එක ඇහැකින් බලපු, ජීවිතේදී එක විදිහට හුස්ම ගත්තු අපි දෙන්නව දාලා ඔයා ගියහම කවුරුහරි කියයි, මුහුදේ ඉන්නේ එක මාළුවද කියලා. කුවුරු මොනවා කිව්වත් මම දන්නවා ඒ මාළුවා අයෙත් එන නැහැ කියලා.......

මෙම ගීතය අවසානයේ නියම ප්‍රේමවන්තෙකුගේ ආත්ම පරිත්‍යාගය ගැන බන්දුලයන් හොද පැහැදිලි කිරීමක් ලබා දෙනවා......ජීවිතය තුල අපි කාට හරි අවංකව ආදරය කල නම්,  ඒ හදවතට දෙන්න හිටිය ආදරය, සෙනහස, සතුට නොඅඩුව ලැබෙනවානම්.......ඒ ඇති අපිට අපේ හිත හද ගන්න......

මට මගේ මතකය වදයක් උනාට ඔයාට ඒ මතකය වදයක් නොවේවා කියන ප්‍රර්තනාවෙන් ගීතය අවසන්  කරනනේ ඔහු. මේ ඔක්කොම මේ විදිහට වෙනවම් තවත් කුමකටද මං දුක් වෙන්නේ ඒ ටිකම ඇති මට මගේ හිත හදා  ගන්න.........

මෙම ගීතය පුරාවටම තම ප්‍රථම ප්‍රේමය සුන්දරව විදලා අවසානයේ එම ප්‍රේමවන්තිය අකමැත්තෙන් වුවත් ඔහුව දාලා යනවා......හැබැයි ඒ යන්නේ ඇයගේ උවමනාවට නෙමේ, නමුත් අවසානයේ එම ප්‍රේමවන්තයා හිත හදා ගන්නනේ ඔහු ඇයට පිදුව නොකැළැල් ආදරය ගැන හිතලා...........

මේවගේ හැගීමක් වචන වලට ගලපන්න පුළුවන් බන්දුලයන්ටම තමා මොකද "සිනා පොදක් විය" , " කටු අකුලේ මල් ඇහැරේ " ,  "රන් ගිර මා " ආදී මදුර ගීත වල පදත් ඔහුගේ නිසා...........මෙහිදී බුලේගොඩයන් ගීතය ජීවමාන කරන විදිහ ඉස්තරම්. "සදක් නම් බැස යන්න තිබුනා" , "නිහඩ අරණ" ආදී මධුර ගීත වලින් අපේ සවන් පිනවූ ඔහු වර්තමානයේ ගෙනයන නිහැඩියාව බිදින්න කලේ හරි කියන එකයි රස්තියාදුකාරයාගේ හැගීම. මෙහි සංගීතය මෙවැනි හැගීමක් තුල අපිව දැහැම් ගත කරනවා.........




Wednesday, February 13, 2013

වැලන්ටයින් සිහිනය


                                            සුදු පාට මීදුම අස්සෙන් ආපු
                                     
                                 රතු පාට හිරු එළිය, මැවුව රටාව..........
                        
                                             හරියට......ඔයා ඇදල හිටිය සායේ
                                   
                                කහ පාට පසුබිමේ තිබුණ දම් පාට මල් වගේ.............
                       
                                            පොත් මිටිය තුල වහං වෙච්ච්
                                     
                                පපු දෑල හුස්ම ගත්තේ හරි සීරුවට............
                       
                                            හීනියට වැටෙන පොද වැස්සත් එක්ක
                       
                                ඔයා හිටියේ වෙනදා වගේම..............
                       
                                            කහ පාට මල් පිපුන ඇසළ ගහ යට
                                 
                               නිල් පාටින් නෙක රටා මැවුව................
                                             
                                            කුඩ පොඩ්ඩ ඉහළගෙන

                               ඉරුණු ඩෙනිමයි, පට්ට ගහපු ෂර්ට් එකයි...........
    
                                            බාටා කැල්ලයි දා ගත්ත මම

                              වෙනදා වගේම පරක්කුයි..............
                                          
                                            ඈත....ඉදන් පියවර මනින
 
                              ඔය නිල් පාට ඇස් දෙක ලඟ...........
                                      
                                           හැමදාම වගේ, අදත් මම ගොළුයි 

                              ඔයාගේ දෑගිලි අතර හිරවෙච්ච..............
 
                                           පිච්ච මල් සුවඳ දෝරේ....ගලන
 
                              ඒ සුභ පැතුම් පත.............



ඒ නැගිටපන්... නැගිටපන්....යකෝ.............දැන් එලි වෙලා........

අඩෝ....මං ඒ දැක්කේ හීනයක්ද............??????


Monday, February 11, 2013

%~~~මෙන්න හැදෙනවනම් රටවල්~~~%



මෙලෝ දෙයක් ලියන්න හිතෙන් නැති මහා කාලකන්නි කාලයක් මේ.............


තප්පරෙන් තප්පරේ ගෙවිලා යන විනාඩියෙන් විනාඩියෙන් වයසටයන, පරිනාමවාදයෙන් ආපස්සට යන අරුම මිනිසුන් ජිවත් වෙන අපුරු දුපතක් තමයි මේ ලංකාව කියන්නේ..............


ඉස්පිරිතාල වලින් නිකන් බේත් ගන්න ගියහම අතපය කපන, සල්ලි දීල බේත් ගන්න ගියහම මැරෙන්න බලන් යන්න ඕනේ අපුරු දිවයිනකි මේ ලංකාව..............

 

ඉගෙන ගන්න ඕනේ නම් පොල් හොරකම් කරන්න ඕනේ, නිදහස් අධ්‍යාපනයෙන් පරතෙරට පැමිණි සුපිරි මට්ටමේ දුපතකි මේ ලංකාව...............


විභාග හෙම නියමෙට තියන, ප්‍රශ්න සමග උත්තරත් බෙදන, දකුණු අතට වම් අත ඔසවන විරල ගනයේ අධ්‍යාපන ඇමතිලා සහිත ආශ්චර්යමත් ගොඩබිමකි මේ ලංකාව............


නීතියට ගරු කරන, යන්න දීලා කනට ගහන, හොරාගේ අම්මගෙන් පේන අහන අපක්ෂපාති අධිකරණ ඇති සාදාරණ රටකි මේ ලංකාව....................


කැම්පස් යන්න වලි කලා, ටියුෂන් කාරයන්ට පන දීලා, අවුරුදු 2 ගෙදර බලන් ඉන්න ඕනේ, ගින්දර වගේ උසස් අධ්‍යාපනයක් ඇති නියම රටක් මේ ලංකාව.............


අපි වවල අපිම කන, වැඩි එව්වා පිට රට යවන, කුරහන් ටිකත් පිට රටින් ගේන ස්වයංපෝෂිත ආර්ථිකයෙන් කෙල පැමිණි සුපිරි රටක් මේ ලංකාව..............


හලාල් වලින් බන කියන, නිවනට යන මග පාදන, උදේ හවා සිල් ගන්න බුදුන් තෙවරක් වැඩි පින් බිමකි මේ සිරි ලංකාව................


ලෝකයේම ඇති සුපිරි නගර එක රැයෙන් ගොඩ නගන, බලා ඉන්න උන් මවිත වෙන, හාස්කම් කම් වලින් පිරි පරාදීසයකි මේ ලංකාව..............  


අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න කතා කරන, හිටගෙන දවල් හීන දකින, හෙළුවෙන් රෙදි හෝදන ඇමති මණ්ඩලයක් සහිත ආසියාවේ මොකක්ද මේ ලංකාව.........


මොනවා උනත් සාදු කියන, උඩ බලාගෙන් කෙල ගහන ජනතාවක් ඇති නිවහල්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී රටක් හොදේ මේ ලංකාව........!!!!!!!!!!! 

Sunday, February 3, 2013

නිදහස යනු කිම..........




   65 වන නිදහස් දින සමරනවා              හෙට
   ඒ වෙනුවෙන් සැමරුන්නම් ඒමට          ඇත
   හදේ නැති නිදහසින් මට මොටද            පල
   තාම අපිට කැම්පස් වත් දීලා                නැත 


                       
                        අධිකරණයත් සෙල්ලම් ගෙයක් විය        අවසානේ
                        දියවන්නාව පොර විය පෙර                        වාගේ
                        මෙවැනි රැගුම් දැක දැක අපි තුන්                වේලේ
                        සමරමු නිදහස අඳ බළලුන්                         වාගේ


   
    නීති විදුහලේ ගැටලුව ඉවර                     නැත
    මොරටුව සරසවියේ ගැටලුව උඩු දුවා        ඇත
    විභාගයේ වටිනාකම අඩුව                       ඇත
    අධ්‍යාපනේ මළගම නම් ෂුවර්                    මට 


                      
                       හලාල් වලට ඒරෙහිව දැන් යුද්ද            වදී
                       රටේ තියන නියම ප්‍රශ්න යටට              යති
                       මෙවැනි බොළද ආතල් වල විහිළු      නොවී
                       රටක් විලස නැගිටින්නට කාලේ            හරි

  

  බන්දුල, s.b රෙදි ගලවාගෙන               අවසානයි
  ජෝනියගේ නිරුවත දැන්නම්  හුරු             පාටයි
  මර්වින් සිල්වා රගපාන්න හරි                      සුරයි
  මේවා බලා ඉන්න අපි හෙන පව්                කාරයි   


                   
                     කඩේ යන්න මාධ්‍ය මට ඕනේ                 නැහැ
                     හිනා වෙන්න ජෝකර්ලව මට ඕනේ        නැහැ
                     පිස්සු කෙලින ඇමතිලා මට පේන්න         බැහැ
                     නමුත්, හුස්ම ගන්න රටක් මට ඕනෑ            වේ