Monday, February 18, 2013

ආදරයේ බෝසත් ප්‍රර්ථනාව............




අපි මේ ජීවිතය පටන් ගන්නේ කොහෙන්ද.........ඉවර කරන්නේ කොහෙන්ද ............ හිතා ගන්න පුලුවන්ද.........???  හරි පුදුම විදිහට මේ ලෝකෙට ආපු අපි හරි පුදුම විදිහට මේ ලෝකේ දාලා යනවා. ඒ අතර තුර ගෙවන කාලය තුල, අපි මේ ගෙවන ජිවිතයේ තව කි දාහක් දේවල් නම් අතර මග දාලා යනවද........

ඒ දාලා යන දේවල් අතරේ ජිවිතේ කවදාවත් අමතක කරන්න බැරිවිදිහට, හදවත තුල කිදා බැහැල තියන ඊයම් බරු වගේ කොයි වෙලාවෙත් අපිට ඒ දේවල් දැනෙනවානම් අපි කොහොමනම්  එවැනි දේවල් හදවතින් අයින් කරන්නද........

                                     එක් පෙති මලක් විය නුබ මගේ ඇත දෙකට
                                     නෙලා  නොගතේ  මගේ බෝසත් කමට
                                     හැරගිය  දිනේ   නාවත් මා  ගම්  දොරට
                                     ආවේ.......ඇයිද  විරහේ  සිත අද්දරට 

රොහාන් ශාන්ත බුලේගොඩයන්ගේ ඒ ලගන්නා සුළු ස්වරයෙන් වර්ණවත් වන මෙම ගීතයේ, පිරිසිදු ප්‍රේමයක් මුල් කර ගත්ත බෝසත් ආදරවන්තයෙක්ගේ චරිතාපදානය වචන වලට ගලපලා තිබුනේ බන්දුල නානායක්කාරවසම් මහතා. මේ බෝසත් ප්‍රේම වන්තයට සංගීතයෙන් පන දීලා තිබුනේ ජගත් ජයවර්ධනයන්.

ජිවිතේ තිබුන ගොඩක් දේවල් වලට නිර්වචනයක් තිබුන මට ඇයි ආදරය වෙනුවෙන් ස්ථිර එක නිර්වචනයක් ගොනු කර ගන්න බැරි උනේ කියලා මං තාමත් කල්පනා කරනවා..............

එක අතකට ඒක සාධාරණයි. මොකද කවදාවත් අපිට ආදරය වගේ මානුෂිය හැගීමක් අකුරු පේලි කිහිපයකින් ලගු කරනවා කියන්නේ මහා බොලද වැඩක්............මොකද ප්‍රේමය කියන්නේ ඒ බොලද කම ඉක්මවා ගිය හදවත පා කරලා අරින්න පුළුවන් තරමේ මහා පුදුම දෙයක්..........

දුවිල්ලෙන් පිරිලා ගිය, කාමුකත්වය අත වනන නුතන සමාජයක "එක් පෙති මලක් නෙලා නොගන්නට තරම්" අධ්‍යාත්මික ලෙස ආදරයත් එක්ක ගණුදෙනු කරන පිරිමි හදවතක් අද අපට හොයා ගත හැකිද......නමුත් මේ පද  රචකයා අපිව ගෙන යන දුර.....අමුනුස්ස කම රජයන සමාජයක මනුස්සකම වෙනුවෙන් තරුණ හදවතකට කරන්න පුළුවන් උතුම්ම පරිත්‍යාගය.......                    

                 විස්මිත ගමන අදහන්නට බැහැ තවම
                 මා හැර දමා නුබ ගිය මග ගැන අරුම
                 සතු කර ගන්න මුල් පෙම නොපිරු බැරිව
                 දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින

ජිවිතේ කළු පාටින් වැහිලා ගිය අඳුරු අගාදයක ඉදන් ඈත පේන පුංචි තරු එළියක් දෙසට අත් අල්ලන් ගමන් කල අපි දෙන්නා.......,අවසානේ ඔයා මගේ ඇසට කදුළු බිදුවක් වත් හෙලන්න ඉඩ නොතියා  මගෙන් ඈත් වෙලා ගියා.......

කවදාවත් පිරිමියෙකුට අමතක කරන්න බැරි දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ තමාව වැදු අම්මයි, පළවෙනි ආදරයයි. ඒ අතරින් පිරිමි හදවතක් තම පලවෙනි ප්‍රේමය වෙනුවෙන් මෙචර හැගීම් බර වෙයි කියලා සමාජයේ බහුතරයක් දේනා හීනෙන් වත් හිතන් නැතුව ඇති........

නමුත් මේ පද රචනාව තුල බන්දුලයන් අපිව හරි නවුමු ලෝකයකට එක්කන් යනවා. ආදරය වෙනුවෙන් ජීවිතය බිලි දෙන සමජයක් වෙනුවට තම අධ්‍යාත්මයත් එක්ක ගනුදෙනු  කරන්න කියලා කරන ඉල්ලීම....... "දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින"

                       මෙන්න සින්දුව අහල බලන්න
                                                                   
                        සිටිනා  කොදෙව් වක නුබ සැප විදිනම්
                        මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්
                        මතකය නුබට හිරිහැරයක් නොවේ නම්
                        තව කුමකටද.... දුක් ගී කල්පනාවන්

ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක තරම් වෙනසක් කිව්වට. අපි අවංකව ආදරය කල කාට හරි අපිට ආපහු වෛර කරන්න පුලුවන්ද............අනාගතය දිහා එක ඇහැකින් බලපු, ජීවිතේදී එක විදිහට හුස්ම ගත්තු අපි දෙන්නව දාලා ඔයා ගියහම කවුරුහරි කියයි, මුහුදේ ඉන්නේ එක මාළුවද කියලා. කුවුරු මොනවා කිව්වත් මම දන්නවා ඒ මාළුවා අයෙත් එන නැහැ කියලා.......

මෙම ගීතය අවසානයේ නියම ප්‍රේමවන්තෙකුගේ ආත්ම පරිත්‍යාගය ගැන බන්දුලයන් හොද පැහැදිලි කිරීමක් ලබා දෙනවා......ජීවිතය තුල අපි කාට හරි අවංකව ආදරය කල නම්,  ඒ හදවතට දෙන්න හිටිය ආදරය, සෙනහස, සතුට නොඅඩුව ලැබෙනවානම්.......ඒ ඇති අපිට අපේ හිත හද ගන්න......

මට මගේ මතකය වදයක් උනාට ඔයාට ඒ මතකය වදයක් නොවේවා කියන ප්‍රර්තනාවෙන් ගීතය අවසන්  කරනනේ ඔහු. මේ ඔක්කොම මේ විදිහට වෙනවම් තවත් කුමකටද මං දුක් වෙන්නේ ඒ ටිකම ඇති මට මගේ හිත හදා  ගන්න.........

මෙම ගීතය පුරාවටම තම ප්‍රථම ප්‍රේමය සුන්දරව විදලා අවසානයේ එම ප්‍රේමවන්තිය අකමැත්තෙන් වුවත් ඔහුව දාලා යනවා......හැබැයි ඒ යන්නේ ඇයගේ උවමනාවට නෙමේ, නමුත් අවසානයේ එම ප්‍රේමවන්තයා හිත හදා ගන්නනේ ඔහු ඇයට පිදුව නොකැළැල් ආදරය ගැන හිතලා...........

මේවගේ හැගීමක් වචන වලට ගලපන්න පුළුවන් බන්දුලයන්ටම තමා මොකද "සිනා පොදක් විය" , " කටු අකුලේ මල් ඇහැරේ " ,  "රන් ගිර මා " ආදී මදුර ගීත වල පදත් ඔහුගේ නිසා...........මෙහිදී බුලේගොඩයන් ගීතය ජීවමාන කරන විදිහ ඉස්තරම්. "සදක් නම් බැස යන්න තිබුනා" , "නිහඩ අරණ" ආදී මධුර ගීත වලින් අපේ සවන් පිනවූ ඔහු වර්තමානයේ ගෙනයන නිහැඩියාව බිදින්න කලේ හරි කියන එකයි රස්තියාදුකාරයාගේ හැගීම. මෙහි සංගීතය මෙවැනි හැගීමක් තුල අපිව දැහැම් ගත කරනවා.........




19 comments:

  1. අගනා පෝස්ටුවක්නේ...මට මේ පෝස්ටුව තදින්ම හිතට වදින්න එක් කාරණයක් වුණේ බුලේගොඩ මගේ එකම පන්තියේ මිතුරෙකු විමත් නිසයි. ඒ වගේම බොහොම අගේට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති නලියා

      කොහොමත් රස්තියාදුකාරයට සින්දු පොඩ්ඩක් වැඩිපුර දැනෙනවා........ කොහොමත් මේ වගේ දේවල් හදවතට දැනෙනවා වැඩි ඒකට හේතුවත් ආදරය වගේම ගුප්තයි

      Delete
  2. මචං හරියට ආදරේ කරොත් හරියට ආදරේ දැනුනොත් කොහමද බන් ඒ කෙල්ලට රිද්දන්නේ ???
    අපේ කොල්ලෝ වෙන කොල්ලෙක් දාල ඒ කෙල්ලට ගේමක් ගහනවා උන් හිතන්නේ එක එක තාම ලොකුම වැඩේ කියලා
    යකෝ කෙල්ල නැති උනාහම රජවරු ස්මාරක හදනවා ඒ නියම අදරේ නිසා.......
    මචන් මොකක් උනත් කෙල්ල දාලා ගියත් තමා නිකමට හරි phone එක බැලෙනවා එය call කරලද කියලා

    ReplyDelete
    Replies
    1. අදරේ කියන්නේ බෞතික සිමාවෙන් ඔබ්බට ගිය මානුෂිය හැගීමක්...... පරිණාමවාදයත් එක්ක ආදරයත් දුෂණය වෙලා ඉවරයි යාළුවා..........

      ඒත් ආදරය කියන එකේ නියම අරුතවත් වර්තමානය තේරුම් ගත්තොත්...........

      Delete
  3. මතකය නුබට හරිහැරයක් නොවේ නම්...

    ඔබටත් අත්දැකීමක් තිබෙනවාද... විහිලුවට ඇසුවේ. මේ හුඟ දෙනෙකුගේ අත් දැකීම් විය හැකියි. ඔබට පමණක් අදාල කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන එක අමුතුම අත්දැකීමක් තමා ඒක විදලම බලන්න ඕනේ.... මතකය තමා හිරිහැරය...නමුත් මතකයම තමා ජිවිතේ හුස්ම ගන්නවා කියල තේරුම් කරවන්නේ.....

      Delete
  4. බුලේගොඩ ගෙ සින්දු මං බොහොම ප්‍රිය කරනවා. මේවා විඳින්න පුළුවන් ගීත.

    ReplyDelete
    Replies
    1. ආදරයේ තියන විරහ ශෝකය දනවන පැත්ත පෙන්නන බුලේගොඩයන්ගේ කටහඩ හොදට ගැලපෙනවා.........එම නිසා ගීතය තුල අපි අපිම වෙනවා එතකොට එම ගීතය අපිට හොදට දැනෙන්න පටන් ගන්නවා.... ඒක නිසයි බුලේගොඩයන්ගේ ගීත අපිට හදවතට හොදට දැනේනේ.......

      Delete
  5. මේ ගීතය මම කලින් අහලා තිබුනේ නෑ කියන්නේ පොඩි ලැජ්ජාවකුත් එක්ක. මොකද මේක අවුරුදු කීපයක් පරණ එකක් බව දැක්ක නිසා.

    මේ ගීතයේ මගේ වඩාත්ම සිත්ගත්තේ දෙවෙනි අන්තරා කොටස. ඒ කොටසින් කියවෙන දේ පැහැදිලි කරන්න හරි අමාරුයි. නුඹ ගියේ සැප විඳින්න, ඒ වුනාට මගේ ආදරය තරම් ආදරයක් නුඹට ලැබෙනවද? කොයි ප්‍රේමවන්තයද හිතන්නේ තමන් තමන්ගේ පෙම්වතියට පෙම්කරන තරම් වෙන අයෙක් ඇයට පෙම් කරයි කියලා. හැමෝටම තමන්ගේ ප්‍රේමය වෙනෙකෙකුගේ ප්‍රේමයට සම කරන්න බැහැ. මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්.. ප්‍රථම ප්‍රේම මතකය ඒ විදිහට හිත් නොරිදවන්න නම් හිත්පිත් නැති කෙනෙක් වෙන්න ඕනේ... තව කුමකටද දුක් ගී කියලා හිතන ඔහුගේ දුක් ගීය නෙමෙයිද මේ අපි අහන්නේ.

    පරාජිත ප්‍රේමවන්තයෙක් හිත හදා ගැනීමට දරන උත්සාහයකුයි අපි මේ දකින්නේ. රස්තියාදුකාරයා කියනවා වගේ ඔහු උපේක්ෂාවෙන් ඒ දිහා බලන්නට උත්සාහ කලත්, පෘතග්ජන සිතුවිලි ඔහුටත් පොදුයි. මේ විදිහට හිතලා හිත හදාගන්න දරන උත්සාහය අතරේ ඉරිසියාව, කේන්තිය වැනි පොදු මිනිස් සිතිවිලි වල ඡායාවකුත් මේ පද රචනයට යටින් තියනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තියනවා......නමුත් මෙහි පද රචනාව එම හැගීම පාලන කරන අයුරු අපුරුයි...........

      "සතු කර ගන්න මුල් පෙම නොපිරු බැරිව
      දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින"

      ආදරය කියන මත්තෘකාවේදී මටනම් කවදාවත්ම සර්ව සාධාරන වෙන්න බැහැ......මොකද උබ කියනවා වගේ අපිට හිතෙනේ අපේ ආදරේ තමා හොදම ආදරේ කියලා.........නමුත් කවද හරි අපි නොසිතුව ලෙස ඒ ආදරේ අපිව දල ගියොත් ඒක විදවීමේ පරාසය අර ආදරයේදී තිබුන පරාසයමයි. ඒ රික්තකය පුරවන්න මේ ගීතය තුලින් ගේනෙන ජිවය වචන වලින් කියන්න බැහැ.

      "සිටිනා කොදෙව් වක නුබ සැප විදිනම්
      මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්"

      Delete
  6. ඔහු නිහඩ නෑ බං.. වැඩ කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අලුතෙන් සිංදු ටිකක් ගහලද........එහෙම උනොත් කොච්චර දෙයක් ද බං.........

      Delete
  7. ගිතයට නිර්මාණාත්මක අදහසක් එකතුකලාම ගිතය අහන විට දැනෙන්නේ ඊට වඩා නොදෙවෙනි රසයක්. බුලේගොඩ මගේත් හොද මිත්‍රයෙක්. මේ ගිය නිතර නෑසුනත් එදාවගෙම අදත් ජනප්‍රියයි. කලාතුරකින් දකින්න ලැබෙන පදමාලාවක්

    ReplyDelete
    Replies
    1. මේ ගීතය මිනිසෙකුගේ හදවත තුල යන්න පුළුවන් උපරීම දුර ගියා කියන එකයි මගේ හැගීම........

      Delete
  8. අාල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි යහනේ නැති සිහිනෙකි සකි
    අාලේ බිඳුනු දා කුමකට කඳුළු හෙළන සකි
    අාල වඩන යන තේරුම බෝසත් කම සකි..

    සුනිල් එදිරිසිංහ ගයන හුලවාලි විත්‍රපටයට ධර්මසිරි පෙරේරා ලියපු මේ කුඩා ගමේ කියන සින්දුව මතක් වුනා මේ ලිපියත් එක්ක...ගීත විචාර මාධ්‍ය කියන එක බින්දුවට බැහැපු යුගයක මේකත් සමාජ සත්කාරයක්..

    මම චමින්ද ගුණරත්න
    මේ පාර දිගේ...

    ReplyDelete
    Replies
    1. @චමින්ද සහ රස්තියාදුකාරයා,
      පොඩී නිවැරදිකිරීමක් කරන්නට අවසර... කුඩාගමේ ගීය ලිව්වේ ධර්මසිරි ගමගේ මහත්මයා.

      Delete
    2. කොහොමටත් චමින්ද මේක මට ඕනේ ගීත විචාරයකට වඩා ගීතය නව වින්ඳන පරාසයකට අරන් යන්න.....ස්තුති උබේ අදහස් දැක්වීමට........

      තිසර උබේ නිවැරදි කිරීමටත් ස්තුති......

      Delete
  9. සුන්දර පෝස්ටුවක් මචං...ආදරයේ විරහව අස්සෙ හරි ආදරයේ ධනාත්මක පැත්ත ගැන කථා කරන නිර්මාණකරුවො දැන් කාලෙ සෑහෙන්න හිගයි...මම ආදරය ගැන පුද්ගලිකව හිතුවෙ එය බොහොම පාරිශුද්ධ, කරන්න තියෙන විශාලම කැප කිරීමක් හරි කරලා රැක ගත යුතු දෙයක් හැටියට...එහෙත් වයසින් මුහුකුරා යද්දි..අපේ ආදරියො අපෙන් හිටි ගමන් සමුගෙන යද්දි මේ අදහස් යම් තරමකට ලිහිල් වුවත්...මම ඒ කිසිවෙකුට අදටත් වෛර කරන්නෙ නෑ...තමන් සත්‍ය ලෙසම කෙනෙකුට ආදරය කලා නම් කිසිදා ඒ හිතින් වෛර කරන්න නම් බෑ...

    ReplyDelete
    Replies
    1. ඔය හින්දම තමා බං ඔය සින්දුව අපේ හදවතට වැඩිය දැනෙන්නේ...... ආදරය, විරහව කියන්නේ පට්ට හැගීම්, ඒවා විදිනවා මිසක් ලියන්න බැහැ බං...........

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...